නිරිතදිග චීනයේ ගුවාන්සි චුවාන්ග් (Guangxi Zhuang) ස්වයං පාලන කලාපයේ ලියුෂෝව් (Liuzhou) නගරයට අයත් ලියුනාන් දිස්ත්‍රික්කයට අද (18) චීන වේලාවෙන් අලුයම 00:21 ට පමණ රික්ටර් මාපකයේ 5.2 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් බලපා තිබේ. කිලෝමීටර් 8 ත් 10 ත් අතර ඉතා නොගැඹුරු මට්ටමක (Shallow earthquake) භූ අභ්‍යන්තරයේ හටගත් මෙම කම්පනය හේතුවෙන් තායියැන්ග් (Taiyang) ගම්මානයේ පදිංචි වයස අවුරුදු 50 ත් 60 ත් අතර පසු වූ අඹුසැමි යුවළක් සුන්බුන්වලට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන් වී ඇත. මිලියන 4 ක ජනගහනයක් වෙසෙන ලියුෂෝව් නගර ඉතිහාසයේ වාර්තා වූ ප්රබලතම භූමිකම්පාව මෙය වන අතර, ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශවාසීන් 7,000 කට වැඩි පිරිසක් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම ප්‍රබල කම්පන තත්ත්වය නැනිං, ගුයිලින් ඇතුළු ආසන්න ප්‍රදේශ රැසකට මෙන්ම හොංකොං නගරයට ද දැනී ඇත. භූමිකම්පාව හේතුවෙන් වීදි ආශ්‍රිතව අවිධිමත් ලෙස ඉදිකර තිබූ නිවාස සහ ගොඩනැගිලි 13 ක් මුළුමනින්ම කඩා වැටී ඇති අතර තවත් ගොඩනැගිලි රැසක බිත්ති ඉරිතලා බරපතළ හානි සිදු වී තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා චීන බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් හදිසි ප්‍රතිචාර මට්ටම් සක්‍රීය කර ඇති අතර, ගිනි නිවන සහ මුදාගැනීමේ නිලධාරීන් 315 දෙනෙකු ඇතුළු සහන කණ්ඩායම් විශාල පිරිසක් වාහන 51 ක් ද සමඟින් මේ වන විටත් ආපදා කලාපයේ සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටිති. ඉන්දියා-යුරේසියානු භූ තැටි ගැටෙන සක්‍රීය භූමිකම්පා කලාපයක පිහිටා ඇති නිරිතදිග චීන කලාපය තුළ මීට පෙර ද විනාශකාරී භූමිකම්පා රැසක් සිදුව ඇති අතර, මෙම අනතුරෙන් සුනාමි අවදානමක් නොමැති වුවද පසු කම්පන (Aftershocks) පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙති.
















