දකුණු චීන මුහුදේ පවතින දේශපාලන සහ යුදමය උණුසුම තවත් තීව්‍ර කරමින්, චීනය විසින් “ඇන්ටිලොප් රීෆ්” (Antelope Reef) නමැති කොරල් වැටිය ආශ්‍රිතව දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත අද (02) වාර්තා කළේය. දශකයකට පමණ පසු චීනය විසින් දියත් කළ විශාලතම දූපත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය මෙය ලෙස සැලකේ.
පසුගිය පෙබරවාරි මාසයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, මෙම වැටිය මත නව ගුවන් පථයක් (Runway), මිසයිල පද්ධති සහ නවීන නිරීක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට චීනය සැලසුම් කර තිබේ. මෙය චීන ප්‍රධාන ගොඩබිමට සාපේක්ෂව සමීපව පිහිටා ඇති බැවින්, හමුදා කඳවුරකට අමතරව සිවිල් යටිතල පහසුකම් ද ස්ථාපිත කරමින් එම ප්‍රදේශය තමන්ට අයත් බව තහවුරු කිරීමට චීනය උත්සාහ කරයි.
වත්මන් ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අර්බුදය හමුවේ ලෝක අවධානය මැදපෙරදිගට යොමුව ඇති මොහොතක, චීනය මෙලෙස සිය බලය ව්‍යාප්ත කිරීම අසල්වැසි රටවල් සහ ඇමෙරිකාව මවිතයට පත් කර ඇත. මෙම නව කඳවුර මගින් චීනයට දකුණු චීන මුහුදේ නාවික සහ ගුවන් ගමන් පාලනය කිරීමට වැඩි ශක්තියක් ලැබෙනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති. මෙය කලාපීය ආරක්ෂාව පිළිබඳව පවතින ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇත.














