විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස මුදාහැරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක දැඩි පානීය ජල හිඟයක් නිර්මාණය වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ආනයනය නිසා නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවත්, එමගින් ඇතිවන පිරිවැය පියවා ගැනීම සඳහා මෙලෙස ජල විදුලිය මත පමණක් රඳා පැවතීමට රජය උත්සාහ කරන බවත් එම පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටී ඇති අතර, ඒ නිසාම මහනුවර, කුණ්ඩසාලේ සහ දිගන ප්‍රදේශවලට ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. මේ වන විට ජල සබඳතා 17,000කට පමණ පානීය ජලය සැපයීම අඩාල වී ඇති අතර, දෛනික අවශ්‍යතාව ඝන මීටර් 12,000ක් වුවද බවුසර් මගින් සැපයීමට හැකි වී ඇත්තේ ඝන මීටර් 500ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජල හිඟයේ බලපෑම හේතුවෙන් පල්ලෙකැලේ ආයෝජන කලාපයේ කම්හල් කිහිපයක් පවා අප්‍රේල් 10 වනදා සිට වසා දැමීමට සිදුව ඇති බවත්, විදුලිය නිපදවීමට අධික ලෙස ජලය භාවිතා කිරීම නිසා ඉදිරියේදී වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවලින් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමේදී ද බරපතල අර්බුදයක් මතුවිය හැකි බවත් දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.














