හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් (Link) ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කළ විමර්ශනවල අවසන් වාර්තාව මේ වන විට අධ්‍යාපන බලධාරීන් වෙත භාර දී තිබේ. එම වාර්තාවට අනුව මෙම සිද්ධිය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි ආකාරයේ අපරාධමය වරදක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ අපරාධමය වරදක් නොමැති වුවද, බරපතළ පරිපාලනමය වැරදි සහ නොසලකා හැරීම් සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එම විනය පරීක්ෂණවලින් අනතුරුව අදාළ පිරිසට එරෙහිව සුදුසු පරිපාලනමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා මීට පෙර අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් අතර, තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව තහනම් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබුණි.














