අධිකරණයේ විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩුවක වින්දිත දැරියකට ප්‍රසිද්ධියේ අපහාස කරමින් වාචික හිංසනයක් සිදුකළ බවට ‘සර්වජන බලය’ පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී තිබේ.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 2026 මැයි 20 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමුණුගම මහතා විසින් අදාළ බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් බරපතල වාචික හිංසනයක් සිදු කර ඇති බවත්, එමගින් වින්දිත දැරිය දැඩි අවමානයට ලක් කර ඇති බවත්ය. අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්, නීතිඥ එෆ්.එම්. හෙන්රිකස් මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරිය වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ, මෙම ක්‍රියාව ‘2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත’ උල්ලංඝනය කිරීමක් බවයි.
සම්පූර්ණ අධීක්ෂණය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ පසුවන වින්දිත දැරියගේ ආරක්ෂාව, සමාජීය සහ මනෝ සමාජීය සුරක්ෂිතතාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත්වීම වැළැක්වීම උදෙසා එම වීඩියෝව ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලුම මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් අමාත්‍යාංශය කාරුණිකව ඉල්ලා සිටියි.
















