වංචාසහගත ලෙස Phishing Link එකක් (Phishing Link) භාවිතා කරමින් පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට ඇතුළු වී රුපියල් ලක්ෂ හතරකට අධික මුදලක් සොරකම් කරන ලද 22 හැවිරිදි තරුණයෙකු ශ්‍රී ලංකා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල, වඳුරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිය බැංකු ගිණුමේ තිබූ මුදල් කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බවට ඊයේ (26) දින කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ සයිබර් විමර්ශකයින් මෙම සැකකරු කොටු කර ගැනීමට සමත්ව ඇත.
ක්‍රීඩා සමාගමක වෙස් ගෙන දුරකථනයට ඇතුළු වූ හැටි:
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රසිද්ධ ක්‍රීඩා භාණ්ඩ විකුණුම් සමාගමක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වංචනිකයින් විසින් පැමිණිලිකරුගේ ජංගම දුරකථනය වෙත අනිෂ්ට බැංකු ට්‍රෝජන් (Banking Trojan) මෘදුකාංගයක් අඩංගු වංචනික සබැඳියක් (Phishing Link) යොමු කර ඇති බවයි. පැමිණිලිකරු එය ක්ලික් කිරීමත් සමඟ ඔහුගේ දුරකථනයේ දුරස්ථ ප්‍රවේශය (Remote Access) ලබාගෙන ඇති සැකකරු, ගිණුමේ තිබූ රුපියල් 408,000ක (හාරලක්ෂ අටදහසක) මුදලක් සොරකම් කර තිබේ.
මෙම සයිබර් මංකොල්ලයට සෘජුවම සම්බන්ධ බවට අනාවරණය වූ පල්ලේගම, මක්කානිගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















