ජාත්‍යන්තර මූල්‍ය අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් පීඑල්සී (Hayleys PLC) වෙත ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ග්ලෝබල් රේටින්ස් (S&P Global Ratings) විසින් ස්ථාවර අපේක්ෂාවන් සහිත (Stable Outlook) දිගුකාලීන විදේශ මුදල් ‘B+’ ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබේ.
මෙම ජාත්‍යන්තර මට්ටමේ ණය ශ්‍රේණිගත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ආයතනික ආයෝජකයන්, ස්වෛරී ධන අරමුදල් සහ ගෝලීය මූල්‍ය ආයතන වෙතින් විදේශ මුදල් ප්රාග්ධනය ලබා ගැනීමේ අවස්ථා හේලීස් සමාගමට පුළුල් වනු ඇත. කෙසේ වෙතත්, අදාළ අරමුදල්වල සැබෑ පිරිවැය සහ ලබාගත හැකි වනුයේ පවතින වෙළඳපල තත්ත්වයන් සහ අපේක්ෂිත නිකුතුවල කොන්දේසි මතය.
සමාගමේ අපනයන නැඹුරු මෙහෙයුම් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික කළඹ මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. හේලීස් සමූහයේ ආදායමෙන් 50%ක් පමණ විදේශ මුදල්වලින් උත්පාදනය වන අතර, එය දේශීය වෙළඳපොළ මත ඇති යැපීම අවම කර ශ්‍රී ලංකාවට ආවේණික අවදානම්වලට එරෙහිව ස්වභාවික ආවරණයක් සපයයි. ක්ෂේත්‍ර 17ක් පුරා රටවල් 20කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන හේලීස්, මහාද්වීප 5ක් පුරා නිෂ්පාදන සහ අලෙවිකරණ කටයුතු සිදු කරයි.
පසුගිය 2026 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගම රුපියල් බිලියන 585.02ක ආදායමක් සහ රුපියල් බිලියන 38.04ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, එම වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන ඒමට සමත් වී ඇත.
















