මෙරටට මත්ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත් පසු, නඩු විභාගය අවසන් වන තෙක් ඇප ලබා නොදී රඳවා තබා ගැනීමට හැකි වන පරිදි නීති දැඩි කිරීමට රජය තීරණය කර ඇත. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මාතරදී පැවැති වැඩසටහනකදී සඳහන් කළේ, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පවතින නීතිමය රාමුව වඩාත් ප්‍රබල කිරීමට රජය පියවර ගන්නා බවයි.
ඒ අනුව, එළඹෙන පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත “විෂ අබිං සහ අන්තරායකර ඖෂධ පනතට” (Poisons, Opium and Dangerous Drugs Act) අදාළ සංශෝධන මඟින් මෙම දැඩි නීතිරීති ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මඟින් උපයාගත් නීති විරෝධී දේපළ සහ ධනය රාජසන්තක කිරීම සඳහා පොලිසිය දැනටමත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්මත කරගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














