ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය ගවේෂණය කිරීම, සංරක්ෂණය සහ ශාස්ත්‍රීය ලේඛනගත කිරීම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසය සහ පුරාවිද්‍යාව ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට පුරෝගාමී වූ එතුමන්, මෙරට බිහිවූ විශිෂ්ටතම විද්වතෙකි.
අභාවප්‍රාප්ත ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (24) උදෑසන සහභාගී විය. එහිදී අමාත්‍යවරයා පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පල කළ අතර, එතුමන් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉතිරි කර ගිය ශාස්ත්‍රීය දායකත්වය රජයේ ඇගයීමට ලක් කළේය.
විශේෂයෙන්ම සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය සහ ඒ ආශ්‍රිත පර්යේෂණ සම්බන්ධයෙන් ආචාර්ය රාජා ද සිල්වා මහතා ඉදිරිපත් කළ මතවාද සහ ග්‍රන්ථ කලාව පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ නව මාවත් විවර කිරීමට සමත් විය. එතුමන්ගේ නික්ම යාම මෙරට ශාස්ත්‍රීය ලෝකයට පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානය.














