ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා අලුතින් බඳවාගත් රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (09) අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මෙම පත්වීම් ලබා දී ඇති අතර, මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සහතික කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංගම ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න මහතා සදහන් කළේ, දැනට ධාවනය වන බස් රථ 7,130න් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් වසර 10කට වඩා පැරණි ඒවා බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පැරණි බස් රථ ක්‍රමානුකූලව ඉවත් කර නව බස් රථ ධාවනයට එක් කිරීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.














