ගාල්ල බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළ රැඳවියෙකු, බන්ධනාගාර නියාමකවරයෙකු විසින් අහසට වෙඩි තබා බිය ගන්වා යළි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුවත ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා විසින් තහවුරු කර ඇත.
ගෘහස්ථ හිංසනයට අදාළ නඩුවක් හේතුවෙන් බද්දේගම අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙකු මෙලෙස පලා යාමට උත්සාහ කර තිබේ. අද (12) දහවල් කාලයේදී ඔහු සැකකරුවන් ලියාපදිංචි කිරීමේ අංශයේ වහලයට නැග, පසුව අමුත්තන් හමුවන ගොඩනැගිල්ලේ වහලය මතින් දිව යන අවස්ථාවේදී මුර අට්ටාලයේ සිටි නිලධාරියා අහසට වෙඩි තබා ඇත.
වෙඩි හඬින් බියට පත් වූ රැඳවියා බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසල වූ වැලි ගොඩකට පැන ඇති අතර, එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අල්ලා ගනු ලැබීය. බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ආරක්ෂාව සහ නිලධාරීන්ගේ කඩිනම් ක්‍රියාකාරිත්වය හේතුවෙන් මෙම පලා යාමේ උත්සාහය ව්‍යර්ථ විය.














