කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි, දැනට M23 කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ගෝමා (Goma) නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) වෙනුවෙන් සේවය කළ ප්‍රංශ ජාතික සහන සේවිකාවක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බදාදා අලුයම 4 ට පමණ ගෝමා නගරයේ හිම්බි (Himbi) නම් ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මෙම පුවත තහවුරු කරමින් ප්‍රකාශ කළේ යුනිසෙෆ් ආයතනයේ සේවය කළ කරීන් බුයිසෙට් (Karine Buisset) නම් සහන සේවිකාව මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි. මානුෂීය මෙහෙයුම්වල නිරත වන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. යුනිසෙෆ් ආයතනය ද මෙම මරණය සම්බන්ධයෙන් සිය දැඩි කනගාටුව සහ කෝපය පළ කරමින් ප්‍රකාශ කළේ ජීවිත බේරා ගැනීමට කැපවී සිටින සහන සේවකයන් සැමවිටම ආරක්ෂා කළ යුතු බවයි.
M23 කැරලිකාර කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම කොංගෝ රජය වෙත පටවන අතර, එය සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ හෙළන “නොඉවසිය හැකි ප්‍රකෝප කිරීමක්” ලෙස හඳුන්වා දී ඇත. කෙසේ වුවද, කොංගෝ රජය මේ දක්වා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත. රුවන්ඩාවේ සහය ලබන M23 කැරලිකරුවන් 2025 ජනවාරි මාසයේ සිට ගෝමා නගරය සිය පාලනය යටතට ගෙන ඇති අතර, එතැන් සිට එම නගරයට එල්ල වූ පළමු ඩ්‍රෝන ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
කලාපය තුළ ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් එල්ල කරන ප්‍රහාර මෑත කාලීනව ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාසයේදී පමණක් එවැනි ප්‍රහාර 31 ක් වාර්තා වී තිබේ. ඛනිජ සම්පත්වලින් පොහොසත් නැගෙනහිර කොංගෝව තුළ පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් අවතැන් වී සිටිති. රුවන්ඩා හමුදාව මෙම කැරලිකරුවන්ට සහය දක්වන බවට එල්ල වන චෝදනා මත පසුගිය සතියේ අමෙරිකාව විසින් රුවන්ඩා හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට ද කටයුතු කළේය.














