ඉරාන-අමෙරිකානු යුද්ධය ආරම්භයේදී ඉලක්ක කරගත් මිනාබ් (Minab) ප්‍රදේශයේ පාසලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පාසල් දැරියන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පදනම් කරගනිමින්, දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට “ජාත්‍යන්තර අපරාධ අධිකරණයක්” පිහිටුවන ලෙස හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් (Gordon Brown) ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී. දැනට එක්සත් ජාතීන්ගේ ගෝලීය අධ්‍යාපනය පිළිබඳ විශේෂ දූතයා ලෙස කටයුතු කරන බ්‍රවුන් මහතා පෙන්වා දෙන්නේ පාසල් යනු යුධ පිටියක කොටසක් නොව, රෝහල් හා සමානව ජාත්‍යන්තර නීතිය යටතේ රැකවරණය හිමිවිය යුතු සුරක්ෂිත මධ්‍යස්ථාන විය යුතු බවයි.
මෙම මිනාබ් පාසල් බෝම්බ ප්‍රහාරයේ වගකීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබුණද, ස්වාධීන විශ්ලේෂණ මගින් එම ප්‍රහාරය හිතාමතාම එල්ල කළ එකක් බවට සාක්ෂි හමුවී ඇති බව බ්‍රවුන් මහතා පෙන්වා දෙයි. යුද්ධයකදී කිසිදු දරුවෙකු “අතුරු හානියක්” (Collateral damage) ලෙස සැලකීම සදාචාරාත්මකව හෝ නීතිමය වශයෙන් පිළිගත නොහැකි බවත්, පාසල් හමුදා මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන බව පවසමින් එල්ල කරන ප්‍රහාරයන් ජාත්‍යන්තර නීතිය අනිසි ලෙස භාවිතා කිරීමක් බවත් ඔහු අවධාරණය කරයි.
බ්‍රවුන් මහතාගේ යෝජනාවට අනුව මෙම නව අධිකරණය හරහා පාසල්වලට බෝම්බ හෙළීම, සිසුන් පැහැර ගැනීම සහ සන්නද්ධ කණ්ඩායම් විසින් ළමුන් වහල් සේවයේ යෙදවීම වැනි අපරාධවලට අණ දෙන හෝ ඊට අවසර දෙන ඕනෑම නායකයෙකුට එරෙහිව ජාත්‍යන්තර මට්ටමේ නඩු පැවරිය යුතුය. එවැනි නායකයන්ට ලෝකයේ කිසිදු තැනක සැඟවී සිටීමට ඉඩ නොතැබිය යුතු බවත්, යුධ අපරාධකරුවන්ට හිමිවන දරුණුතම දඬුවම් ඔවුන්ට ද හිමිවිය යුතු බවත් ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙයි. මෙම ප්‍රබල යෝජනාව හරහා අනාගතයේදී යුදමය වාතාවරණයන් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය සහ ජීවිත සුරක්ෂිත කිරීමට නව නීතිමය පදනමක් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














