වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්‍රදේශයකි.

බස්නාහිර පළාතේ දකුණු කෙලවරේ පිහිටි මෙම ප්‍රදේශය සීග්‍ර ලෙස ජන ගහණය වර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් ලෙසද හඳුනාගත හැකි අතර වැඩි වන ජන ගණයට අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ස්වාභාවික පරිසර පද්ධති වලට සිදුවන බලපෑම්ද සීග්‍රයෙන් වැඩිවන ප්‍රදේශයකි.

මෙරට වෙනත් කිසිඳු ස්ථානයක හමු නොවන ඉහල ජෛව වටිනාකම් සහිත පරිසර පද්ධති රැසකින් සමන්විත වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ප්‍රමුඛ වැසි වනාන්තරයක් වන යගිරල රක්ෂිත වනාන්තරය ඇතුළුව පැණිවැල් මූකලාන, ජම්බුගහහේන - නාවලකන්ද කඳු පංති වනාන්තර කලාපය, හල්වල් කැලය සංරක්ෂිත වනාන්තරය, කහබිලියාකන්ද සංරක්ෂිත වනාන්තරය, බටුකන්ද රජයේ කැලය, කනානකන්ද සංරක්ෂිත වනාන්තරය, බංගලාකන්ද රජයේ කැලය, කුමාරන්කන්ද රජයේ වනය, කළුගල යෝජිත රක්ෂිතය, ගමෙක් කන්ද රජයේ කැලය, විරකන්ද මුකලන යෝජිත රක්ෂිතය, කලුකොට්ට්ව කන්ද රජයේ කැලය, අව්වෙගල කන්ද සංරක්ෂිත වනය, බුලත්කන්ද රජයේ කැලය, මීගහතැන්න යෝජිත රක්ෂිතය වැනි තෙත් කලාපීය සදාහරිත වනාන්තර පද්ධති වලින් හා මල්ගස්ඕවිටදෙණිය කඩොලාන සංරක්ෂිත වනාන්නතරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වනාන්නතරය, ලුල්බද්දුව කඩොලාන වනාන්නතරය වැනි කඩොලාන වනාන්තර වලින්ද සමන්විත වේ. බෙන්තර ගඟ එක් මායිමක් වන මෙම කලාපය බෙන්තර ගඟ සහ කළු ගඟ හා බැඳුනු ජලවහන පද්ධතියකින්ද සමන්විත වේ. මේ නිසා මෙම සුවිශේෂී පරිසර කලාපය තුල ඉහල ශාක සහ සත්ව විවිධත්වයක් ඇති අතර මෙරටට අවේණික වනජීවීන් විශාල ප්‍රමාණයක්ද මේ ආශ්‍රිතව වාසය කරයි. මෙහි හමුවන ශාක හා සත්ත්ව විශේෂ බොහොමයක් මෙරටට පමණක් ආවේණික වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වූ විශේෂ වේ. එම විශේෂයන්ගෙන් බහුතරයක් මෙම කලාපයටම ආවේණික වීමද විශේෂ ලක්ෂණයකි.

මෙවැනි වටිනාකමක් සහිත රක්ෂිත කලාප තුල වෙසෙන වන ජීවීන් හට විවධ තර්ජණයන් මේ වනවිට එල්ල වෙමින් පවතී. මස් පිණිස ගෝනුන්, ඌරන්, ඉත්තෑවන් වැනි විශාල ක්ෂිරපායින් දඩයම් කිරීම, ජාන කොල්ලය හා වෙළඳාම සඳහා වටිනා ශාක විශේෂ සහ උරගයින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින්, දිලීර, ලයිනක වැනි ජෛව කොටස් එකතු කිරීම වැනි ජාවාරම් මෙම ප්‍රදේශයන් තුල හොර රහසේ සිදුවෙයි. මිරිදිය මත්ස්‍යන්ගේ ඉහල විවිධත්වයක් මෙහි පවතින අතර විසිතුරු මසුන් ලෙස අලෙවිය සඳහා ස්වාභාවික ජල දහරාවන්ගෙන් මසුන් හා ජලජ ජීවීන් එකතු කිරීමද විශාල වශයෙන් සිදුවේ. මෙම කලාපය තුල ඉහල සත්ත්ව විශේෂ ගණත්වයක් පවතින නමුත් ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපතක් සිදුවූ විට එම සතුන්ට අවශ්‍ය ප්‍රථිකාර ඇතුළු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පහසුකම්ද මෙම ප්‍රදේශයෙහි නොපවතී. සීග්‍රයෙන් ජනාකීර්ණ වන කලාපයක පිහිටීම නිසා මෙහි ඉඩම් වලට ඇති ඉල්ලුම ඉහල යාම සමග වනාන්තර ප්‍රමාණය අඩුවීමෙන් වන ජීවීන් හා මිනිසුන් අතර සිදුවන ඝට්ටනයන්ද ඉහල ගොස් ඇති අතර පසුගිය වසර කිහිපය තුල දුර්ලභ වන ජීවීන් විශාල ප්‍රමාණයක් අහිමි වීමද සිදුවිය.

මේ නිසා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත බීට්ටු කාර්යාලයක් මෙම ප්‍රදේශය තුල පවත්වාගෙන ගෙන යා හැකි නම් මෙම ප්‍රදේශයයේ වන ජිවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වනජීවී ජාවාරම් නවතා දැමීමට හැකියාව ලැබෙනු ඇත. එමගින් වනජීවීන්ට සිදුවන හදිසි අනතුරු වලදී ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන නිසා හදිසි අනතුරු නිසා සිදුවන වන ජීවී හානි වලක්වා ගැනීමට හැකියාව ලැබේ. මෙම ප්‍රදේශයේ ඉහල ජෛව විවිධත්වයක් පැවතියද මෙම පරිසර පද්ධති ආශ්‍රිතව තවමත් නිසි අධ්‍යයනයක් සිදුවී නොමැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් හට මෙන්ම විද්‍යාඥයන්ටද පර්යේෂණ කටයුතු සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත්වන කළුතර දිස්ත්‍රික්කයටම වනජීවී කාර්යාලයක් නොමැති අතර වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ටාසය තුළ වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත බීට්ටු කාර්යාලයක් ස්ථාපනය කිරීමෙන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රක්ෂිත හා වනජීවීන් වෙතද ආරක්ෂාවක් ලබා දිය හැකි වේ.

එබැවින් මේ පිළිබඳව සැලකිල්ලට ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන ජීවී අපරාධ සහ වන ජිවින්ට සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගත හැකි වනජීවී කාර්යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

පිටපත - පරිසරවේදී පේශල පසන් කරුණාරත්න

Pin It

සබැඳි පුවත්

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද...
කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි
කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් ...
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්‍රදානය කර තිබේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලක සභික කොළඹ දිස්ත්‍රික්...
සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්
සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක් කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරම...
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි. ඒ දකුණු පළ...
හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ
හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේව...

Print   Email