ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගන්න - කෝප් කමිටුව

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එසේම එම බලාගාරයේ කටයුතු වලදී අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බව හේරත් මහතා නිර්දේශ කළේය.

ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම යටතේ ඉදිරියට විදුලි සැපයුම පුලුල් කෙරෙන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් පරිසර අධිකාරිය එක්ව මෙම ඇගයීම් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම නිර්දේශය සිදු කරනුයේ ලක්විජය බලාගාරය සහ එහි පාරිසරික බලපෑම පිළිබඳ සොයාබැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ ( 24 ) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී 2015 වසරේ සිට මෙරට විදුලි බලාගාර ඉදි නොවීම නිසා 2019 වර්ශයේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 85 ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කොප් කමිටුවේදී අනාවරණය කළහ.

ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම පිළිබඳ කොප් කමිටුවේ අවධානය යොමු වූ අතර 2023 වර්ෂය වන විට නව මෙගාවොට් 300ක් සහ 2026 වර්ෂය වන විට තවත් මෙගාවොට් 300ක් මෙම බලාගාරයට එක්වීමට නියමිතව ඇති බව එහිදී අනාවරණය විය.

නමුත් මෙම ධාරිතාවය ගබඩාකිරීමට සහ බෙදා හැරීමට ලක්විජය බලාගාරය සතුව පහසුකම් පවතින්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ පිළිබඳ මේ වනවිට පරීක්ෂාකිරීම් සිදුවන බවත් නිවැරදි අවශ්‍යතාවන් සපුරන්නේ නම් පමණක් මෙම පුලුල් කිරීම් සිදු කරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

තවද ලක්විජය බලාගාරයේ පියාසර අළු කළමනාකරණය පිළිබඳ කොප් කමිටුවේදී අවධානය යොමු විය. පියාසර අළු සඳහා ජලය ඉසීමට පමණක් වසරකට රුපියල් මිලියන 26 වැයවන බව මෙහිදී කොප් කමිටු සභාපතිවරයා අනාවරණය කළේය.

එසේම අනු අංගනයක ගබඩා කොට ඇති පියාසර අළු ටොන් 6,580,00 ක් ප්‍රයොජනවත් ආකාරයෙන් යොදාගැනීම පිළිබඳ සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මෙම අළු මගින් ගඩොල් නිෂ්පාදනය පිළිබඳ අවධානය යොමුවී ඇති බව මෙහිදී නිලධාරීහු පැවසූහ.

ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වන ඒකක 3න් පළමු ඒකකයෙන් නියමිත කාරයක්ෂමතාව නොලැබී ඇති බවත් අවස්ථා කිහියකදීම බිඳවැටීම් සිදු වී ඇති බවත් කෝප් කමිටුවේදී අවධානය යොමු විය. එසේම මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපුරන්නේ ලක් විජය බලාගාරයෙන් බැවින් එහි බිඳවැටීමක් සිදු වූ විට රටටම විදුලිය ඇනහිටීමක් සිදුවන බැවින් ඒ් සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේහිදී සාකච්ඡා කළේය.

එසේම සිසිලන ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳව ද, මෙම ප්‍රදේශයේ භූ ගත ජලය පිළිබඳ සොයාබැලීමේ අවශ්‍යතාවය ද, ගල් අගුරු ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳව සහ ගල් අගුරු ගොඩබෑමේ ධාරිතාව වැඩිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඊයේ කොප් කමිටුවේදී සාකච්ඡා කෙරුණි.
අමාත්‍ය මහින්දාන්න්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, රන්ජන් රාමනායක යන මහත්වරු මීට සහභාගී වුහ.

 

 

Pin It

සබැඳි පුවත්

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්
අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක් කොරෝනා ආසාදිතයින් 873 ක් අද දින වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,526 ක...
දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ
දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රත...
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක් රටේ පවතින තත්ත්වය මත ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍ය...
සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක්
සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ දින 04 ක පමණ කාලයක සිට අදාළ ආසාදිතයින් හදුනාගැනීම් සිද...
අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක්
අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක් නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසය...
වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි
වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා ඊයේ ...

Print   Email