මුළු මහත් ශ්‍රී ලාංකේය සමාජයම දැඩි කම්පනයට පත් කරමින් කටුනායක ගුවන් තොටුපොළේදී විෂ මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ පුවත, මෙරට සාමයට සහ ගෞරවයට එල්ල වූ දරුණු අතුල් පහරක් බවට පත්ව තිබේ. මෙම සිදුවීමත් සමඟ විෂ මත්ද්‍රව්‍ය උවදුර රටේ ජාතික ආරක්ෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට එල්ල කරන මාරක තර්ජනය පිළිබඳව රජයේ සහ මහා සංඝරත්නයේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙය තවදුරටත් සාමාන්‍ය අපරාධයක් ලෙස නොව ජාතික ව්‍යසනයක් ලෙස සැලකිය යුතු බවට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හදිසි සාකච්ඡාවකදී, මෙම විෂමාචාර ක්‍රියාවලට එරෙහිව ගත යුතු දැඩිම ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙහිදී මහානායක හිමිවරුන් විසින් නිකුත් කර ඇති නිවේදනය සමස්ත සංඝ සමාජයේම පොදු ස්ථාවරය ලෙස සලකා කටයුතු කරන ලෙසත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ත්‍රෛනිකායික මහා සංඝරත්නය රජයෙන් ඉල්ලා සිටියහ. සංඝ සමාජයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාට පමණක් හුදෙකලාව කටයුතු කළ නොහැකි බැවින්, විහාර දේවාලගම් පනත ඇතුළු නෛතික ප්‍රතිපාදන කඩිනමින් සංශෝධනය කරමින් ශාසනික විනය සුරැකීමට රජයේ සෘජු සහාය අවශ්‍ය බව උන්වහන්සේලා පෙන්වා දුන්හ. මත්ද්‍රව්‍ය ජාලය විසින් ශාසනික වටපිටාව පවා සිය ගොදුරක් කරගෙන ඇති ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ විසින් මෙහිදී සංවේදී තොරතුරු රැසක් අනාවරණය කළ අතර, මෙය මර්දනය කිරීමට නව නීති පද්ධතියක අවශ්‍යතාවය දැඩිව අවධාරණය විය.
රට ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් කරා ගෙන යන ගමනේදී සම්බුද්ධ ශාසනය සහ ඒ හා බැඳුණු හර පද්ධතිය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නේය. විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය දියත් කර ඇති මෙහෙයුම් සමඟ වඩාත් ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අතර, ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි නෛතික පියවර පිළිබඳව ද සාකච්ඡාවේදී එකඟතාවකට එළඹිණි. ශාසනයට සහ රටට එල්ල වී ඇති මෙම කළු පැල්ලම මකා දමමින් යහපත් සමාජයක් උදෙසා ගන්නා වූ මෙම අසීරු තීරණ, හෙට දවසේ සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වනු නොඅනුමානය.














