පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවර පැවැත්වෙන 42 වැනි ජාතික මිලාද්-උන් නබි ප්‍රධාන සැමරුම් උත්සවය එළඹෙන අගෝස්තු 26 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ කමිටු රැස්වීම ඊයේ (14) මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
2,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයට සමගාමීව මුස්ලිම් පල්ලි (මස්ජිද්) සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් මිලියන 10ක විශේෂ ප්‍රතිපාදන මේ වන විටත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිකුත් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා මෙහිදී තහවුරු කළේය. මීට අමතරව, ජාතික මහෝත්සවයට සමගාමීව ප්‍රජා සහජීවනය සහ සමාජ සත්කාරකත්වය පෙරදැරි කරගත් සුවිශේෂී වැඩසටහන් මාලාවක් අගෝස්තු මාසය පුරා ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.














