උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට රුපියල් එක් කෝටි විසි එක් ලක්ෂයක මුදලක් ලබාගෙන, අදාළ නිර්මාණය ලබා නොදී වංචා කළ සමාගමක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPA) අනාවරණය විය.
මෙම මුදල ලබාගත් සමාගමේ ප්‍රධානීන් මේ වන විට අතුරුදන්ව සිටින බවත්, ඔවුන් සම්බන්ධ කර ගැනීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බවත් පළාත් සභා නිලධාරීහු කමිටුව හමුවේ ප්‍රකාශ කළහ. රජයේ මුදල් ලබාගෙන පොරොන්දු වූ සේවාව ඉටු නොකිරීම බරපතල මූල්‍ය වංචාවක් බව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
කෝපා කමිටුවේ සභාපති කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිලි කර විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.














