2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) අවසන් තීරණය මෙම මාර්තු මස අවසානය වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අප්‍රේල් සිට ජූනි දක්වා කාල සීමාව සඳහා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා කොමිසම වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. මේ වන විට එම යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර, එහි තෙවන දිනය වන අද (12) මාතලේ දිස්ත්‍රික්කයේදී අදහස් විමසීම් සිදු කෙරේ.
මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම සහ බලශක්ති උත්පාදන පිරිවැය ඉහළ යාම මෙම ගාස්තු සංශෝධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ. මහජන අදහස් විමසීමෙන් අනතුරුව, පාරිභෝගික ජනතාවට සහ විදුලිබල මණ්ඩලයට සාධාරණ වන අයුරින් අවසන් තීරණය ගැනීමට උපයෝගීතා කොමිසම අපේක්ෂා කරයි.














