පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ මහනුවර හෝටලයකදී අශෝභන ලෙස හැසිරුණු බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එරට ක්‍රීඩක සල්මාන් මිර්සා (Salman Mirza) විකාශන ආයතනයකට සහ මාධ්‍යවේදියෙකුට එරෙහිව එන්තරවාසියක් යවා තිබේ. ARY Communications ආයතනයට සහ මාධ්‍යවේදී ෂාහිඩ් හෂ්මි වෙත මෙම නීතිමය නිවේදනය යොමු කර ඇත.
පසුගිය මාර්තු 05 වනදා ARY පුවත් සේවය මගින් වාර්තා කර තිබුණේ, මහනුවර හෝටලයක සේවිකාවක සමඟ මිර්සා අයහපත් ලෙස හැසිරී ඇති බවත්, ඒ හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට දඩයක් පැනවූ බවත්ය. කෙසේ වෙතත්, මෙම වාර්තාව පදනම් විරහිත සහ අසත්‍ය එකක් බවත්, ඉන් ක්‍රීඩකයාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුව ඇති බවත් ඔහුගේ නීතිඥයෝ පෙන්වා දෙති.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම පුවත ප්‍රතික්ෂේප කර ඇති අතර, එය ක්‍රීඩකයන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද “ව්‍යාජ පුවතක්” (Fake News) බව සඳහන් කර තිබේ. මෙම අසත්‍ය වාර්තාව වහාම ඉවත් කර කොන්දේසි විරහිතව සමාව ගන්නා ලෙසත්, සිදුවූ අපහාසය වෙනුවෙන් පාකිස්තාන රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ගෙවන ලෙසත් මිර්සාගේ නීතිඥයන් ඉල්ලා ඇත. දින හතක් ඇතුළත මෙම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද එම එන්තරවාසිය මගින් දන්වා තිබේ.














