මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇති වී තිබෙන බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
ඉරාන-අමෙරිකානු ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමත් සමඟ දකුණු ආසියානු රටවල් කිහිපයකට ඉන්ධන සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණ දීමට සිදු විය. මෙම පසුබිම තුළ තම රටවල බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීමට එම රටවල් ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.
කලාපීය සහයෝගීතාවය යටතේ අසල්වැසි රටවලට අවශ්‍ය සහය ලබා දීම ඉන්දියාවේ ප්‍රමුඛතාවක් වන අතර, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ සැපයුම් ජාලයන්හි පවතින අවිනිශ්චිතතාවය හමුවේ ඉන්දියාවෙන් ලැබෙන මෙම සහය ශ්‍රී ලංකාව වැනි රටවලට තීරණාත්මක වනු ඇත.














