ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ මෙහෙයුම්වල ඉදිරි පෙළ නායකත්වය දෙන විශේෂ කාර්ය බලකායේ (STF) දක්ෂ නිලධාරීන් දඩයම් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් මොරටුව කඳවුර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන “කුඩු දේවින්ද” නැමැති ජාවාරම්කරුගේ මුදල් බලයට යට වූ දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන් පිරිසක්, ජාවාරම්කරුවන්ට මරණ බිය ගෙන දුන් අවංක නිලධාරීන්ව මාරු කර යැවීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වේ.
මෑත ඉතිහාසයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කළ උප පොලිස් පරීක්ෂක කාහිංගල මහතා මෙලෙස ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් වී ඇති ප්‍රධාන නිලධාරියා වේ. ඔහු විසින් කිරුළපන, පින්වත්ත, බෝධියවත්ත සහ කිරිවන්තුඩුව වැනි ප්‍රදේශවලදී අයිස් (ICE) සහ හෙරොයින් කිලෝ ගණනින් අත්අඩංගුවට ගෙන ජාවාරම්කරුවන්ගේ කෝටි ප්‍රකෝටි ගණනක ජාලයන් විනාශ කර තිබේ. එසේම සන්නද්ධ පාතාල සාමාජිකයන් සමඟ වෙඩි හුවමාරුවලට පවා මැදි වෙමින් සිය ජීවිතය පරදුවට තබා කටයුතු කළ මෙම නිලධාරියාව මොරටුව කඳවුරෙන් මාරු කර යැවීම පිටුපස “කුඩු දේවින්ද” ගේ කොන්ත්‍රාත්තුවක් පවතින බව වාර්තා වේ.
මීට පෙර මොරටුව STF කඳවුරේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවන් මහතාට ද අත්වූයේ මෙවැනිම ඉරණමක් බවත්, “සල්ලිවලට ගන්න බැරි නිලධාරීන්ව මාරු කරවනවා” යන පාතාලයේ අභියෝගය අද වන විට සත්‍යයක් වී ඇති බවත් වාර්තාකරු පෙන්වා දෙයි. මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල, ආරක්ෂක ලේකම් ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ අවධානයට මෙම “කළු බැටළුවන්ගේ” ක්‍රියාකලාපය යොමු කර ඇති අතර, දූෂිත මාරුවීම් අවලංගු කර මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් ශක්තිමත් කරන ලෙස සිවිල් සංවිධාන ඉල්ලා සිටියි.














