ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (12) නිකුත් කළ මෙම නිවේදනය හෙට (13) දිනය පුරා වලංගු වන බව සඳහන් වේ.
අදාළ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, මොනරාගල සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කාලගුණික රටාවන්හි සිදුවන වෙනස්වීම් ද මෙවැනි තත්ත්වයන් කෙරෙහි බලපෑම් කළ හැකි බව විද්වතුන් පෙන්වා දෙයි.
මෙම අධික උණුසුම හේතුවෙන් සිරුරට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීම, එළිමහන් වැඩකටයුතුවල නිරත වන විට ප්‍රවේශම් වීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.














