ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ ක්‍රියාත්මක වන නව අපරාධ නීති සංග්‍රහය මගින් කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නීතිගත කර ඇති බව හෙළි කරමින්, සිය සැමියාගෙන් දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ කාන්තාවකගේ දික්කසාද නඩුවක් තලේබාන් විනිසුරුවරයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. “සුළු කේන්තියක් සහ පහරදීම් කිහිපයකින් ඔබ මැරෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් විනිසුරුවරයා ඇයව යළිත් එම ප්‍රචණ්ඩකාරී නිවසටම යැවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
ෆර්සානා නම් මෙම කාන්තාව පවසා සිටින්නේ, තමා අසනීප වී සිටියදී ආහාර පිසීමට නොහැකි වීම නිසා ඇගේ සැමියා විසින් දුරකථන චාජර් කේබලයකින් ඇයට ඉතා අමානුෂික ලෙස පහර දුන් බවයි. ඇගේ සිරුරේ සලකුණු පවා තිබුණද, අධිකරණයට ඉදිරිපත් කිරීමට ඡායාරූපමය සාක්ෂි නොමැති වීම නිසා විනිසුරුවරයා එම පැමිණිල්ල බැහැර කර තිබේ. ඉස්ලාම් දහම අනුව සැමියාට කීකරු නොවන බිරිඳකට විනයානුකූලව දඬුවම් කිරීමට සැමියාට අයිතියක් ඇති බවත්, මින් ඉදිරියට මෙවැනි දේ සම්බන්ධයෙන් අධිකරණයට නොඑන ලෙසත් විනිසුරුවරයා ඇයට තර්ජනය කර ඇත.
පසුගිය වසරේ හඳුන්වා දුන් නව අපරාධ නීති සංග්‍රහයට අනුව, ඇටකටු කැඩීමක් හෝ දරුණු තුවාල සිදු නොවන තාක් කල් සැමියාට බිරිඳට පහර දීමට අවසර ලැබෙන අතර, එවැනි අපරාධයක් ඔප්පු කළහොත් සැමියාට ලැබෙන්නේ දින 15ක සිර දඬුවමක් පමණි. මෙය කාන්තාවන්ට එරෙහි “ලිංගික වර්ගභේදවාදයක්” (Gender Apartheid) බවට මානව හිමිකම් සංවිධාන සහ නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පෙන්වා දෙති. මෙම නීති මගින් කාන්තාවන්ට රැකියා කිරීමට, අධ්‍යාපනය ලැබීමට සහ ප්‍රසිද්ධියේ කතා කිරීමට පවා තහංචි පනවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඇෆ්ගන් කාන්තාවන් මුහුණ දෙන මෙම අමානුෂික තත්ත්වය සමස්ත ලෝකයේම කාන්තා අයිතිවාසිකම්වලට එල්ල වූ දරුණු තර්ජනයක් බවයි. අධිකරණ තීන්දුවෙන් පසු ෆර්සානාට යළිත් සිය සැමියා වෙත යාමට සිදු වී ඇති අතර, ඔහු දැන් පෙරටත් වඩා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත්, ඇයට පියාගේ නිවසට පවා යාමට අවසර නොදෙන බවත් ඇය පවසා සිටී.














