මේ වසරේ අගභාගයේදී ප්‍රබල එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයක් වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට ලැබී ඇති අනතුරු ඇඟවීම් හේතුවෙන් විශේෂඥ උපදේශක කාරක සභාවක් පිහිටුවීමට ඉන්දියාවේ තමිල්නාඩු රජය පියවර ගෙන ඇතැයි ‘හින්දු’ පුවත් සේවය වාර්තා කර තිබේ.
වර්ෂාපතනය සහ නියඟ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, අවදානම් සහිත ප්‍රදේශ හඳුනා ගැනීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති පිළිබඳ තමිල්නාඩු ආපදා අවදානම් අවම කිරීමේ නියෝජිතායතනය වෙත උපදෙස් දීම මෙම කාරක සභාව විසින් සිදු කරනු ඇත. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් නිරිතදිග මෝසම් වර්ෂාපතනය අඩුවී කාවේරි ගංගාවට සහ වාරිමාර්ගවලට බලපෑම් ඇතිවිය හැකි අතර, ඊසානදිග මෝසම් සමයේදී දැඩි වර්ෂාපතනයක් හා ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කරන බැවින්, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම විද්වත් කමිටුව රජයට උපදෙස් ලබා දෙනු ඇත.














