අඟුරුවාතොට, දොඹගොඩ යුදෝපකරණ බලකා රෙජෙමේන්තුවේ පුහුණු නිලධාරියෙකු ටී-56 ගිනි අවියකින් හිසට වෙඩි වැදී මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන සැරයන් සුරේෂ් කැලුම් නැමති නිලධාරියෙකි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුහුණු පාසලේ ආයුධාගාරය අසල විවේකාගාරයේ සිටි වෙනත් සෙබළෙකුට අයත් ගිනි අවියකින් මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි. සැරයන්වරයාගේ සිරුර විවේකාගාරය තුළ වැටී තිබී ඇති අතර, සිරුර අසල තිබී අදාළ ටී-56 ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














