කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසිය විසින් අද (01) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය නවත්වන ලෙස පොලිසිය කළ සංඥාව නොතකා ධාවනය කිරීම නිසා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය ලොරි රථයේ පිටුපස ටයර්වලට වැදී ඇති අතර, රථය නතර කර සැකකාර රියදුරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. පලාගිය රියදුරු හඳුනාගැනීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා ධර්මපුරම් පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. නීතිවිරෝධී වැලි ජාවාරම් මැඩලීම සඳහා උතුරු පළාත තුළ දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන පසුබිමක මෙම සිදුවීම වාර්තා විය.














