සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාසනික සහ සමාජයීය මෙහෙවර අගය කරනු පිණිස සංවිධානය කරන ලද “ගෞරවාභිනන්දන” උපහාර උළෙල ඊයේ (25) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.
නාහිමියන් වෙත පිරිනැමුණු උපහාර මංජුසාව පිළිගැන්වීම අග්‍රාමාත්‍යතුමිය සහ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී මහත්මිය අතින් සිදු විය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ උපසම්පදාවෙන් වසර 50කට අධික කාලයක් පුරා පිරිවෙන් අධ්‍යාපනය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නංවාලීමට නාහිමියන් කළ මෙහෙවර සමස්ත සමාජයටම මහත් ආදර්ශයක් බවයි. විශේෂයෙන්ම පිරිවෙන් පරීක්ෂකවරයකු ලෙස දශක ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත සිසු පරපුරකට නැණ පහන් දැල්වීමටත්, සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රචනා කිරීමටත් උන්වහන්සේ ගත් උත්සාහය ඇය කෘතවේදීව සිහිපත් කළාය.
රත්නපුර මහවල ශ්‍රී ධර්මායතනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශවාසීන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව උදෙසා නාහිමියන් කළ කැපවීම අගය කළ අග්‍රාමාත්‍යතුමිය, උන්වහන්සේට ඉදිරියටත් ශාසනික මෙහෙවරෙහි නිරත වීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළාය. මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වී සිටියහ.














