ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද, පවතින අධික මාර්ග තදබදය හමුවේ බස් රථ ධාවනය අතිශය දුෂ්කර වී ඇති බැවින් ඉදිරියේදී බස් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) ප්‍රකාශ කළේය. ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙම ඉල්ලීම සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් 2කටත් වඩා අඩුවී ඇති බව පෙන්වා දුන් විජේරත්න මහතා, පවතින තත්ත්වය මත අවම බස් ගාස්තුව රුපියල් 5කින් හෝ 6කින් ඉහළ දැමිය යුතු බව සඳහන් කළේය. වත්මන් රජය සහ ප්‍රවාහන අමාත්‍යවරයා පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීමට නිසි පියවර ගෙන නොමැති බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.














