තමාට අපහාස කළේ යැයි ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 51 හැවිරිදි තිදරු පියෙකුට සවලකින් සහ ඉදලකින් පහර දී ඝාතනය කළ බව කියන අඹුසැමි යුවළක් පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හල්කඳවිල, යොවුන්ගම පදිංචිව සිටි 51 හැවිරිදි කිරඹ ගණිතගේ නිමල් සේනාරත්න නැමැති අයෙකි. මියගිය පුද්ගලයාගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිල්ලට අනුව, ඉකුත් 03 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙම පහරදීම සිදුව ඇති අතර, පහර කෑමට ලක්වූ පුද්ගලයා ඊයේ (08) අලුයම නිවසේ නාන කාමරය තුළ ලේ වමනය දමමින් සිටියදී නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් 11.00ට පමණ ඔහු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති අතර, අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.













