අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සාපරාධී වරදක් නොවන බැවින්, එවැනි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිස් ඒකක මැදිහත් නොවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. දේශපාලකයින් සහ බලවත් පුද්ගලයින් තමන්ට සිදුවන අපහාස සම්බන්ධයෙන් සාපරාධී නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම මඟින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එල්ල වන බව පෙන්වා දෙන කොමිසම, මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන වෙත නිසි උපදෙස් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට දන්වා තිබේ.
විශේෂයෙන්ම මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා විවේචන ඉවසා සිටිය යුතු බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් කොමිසම අවධාරණය කරයි. තවද, මතභේදාත්මක “මාර්ගගත ආරක්ෂණ පනත” වෙනුවට නව පනතක් හඳුන්වා දෙන තෙක් එහි භාවිතය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ද මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර ඇත. පසුගිය සමයේ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි ඇතුළු පිරිසක් තමන්ට අපහාස වූ බව පවසමින් CID වෙත පැමිණිලි කර තිබූ පසුබිමක මෙම වැදගත් නිර්දේශ ඉදිරිපත් වී තිබේ.














