මේ දිනවල ඌරන් අතර බහුලව පැතිර යන අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) අවිධිමත් ආකාරයට මෙරටට ගෙන එනු ලැබූ මස් මගින් හෝ ගුවන් තොටුපොළ හා වරායට එන යාත්‍රා මගින් බැහැර කරන ආහාර අපද්‍රව්‍ය මගින් රට තුළට ඇතුළු වූ බවට අනුමාන කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
මේ පිළිබඳව කළ විමසුමකදී අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවට දැනට ඉතා විධිමත් ආකාරයට ඌරු මස් ආනයනය කරන අතර එමගින් රෝගය බෝවීමේ ඉඩක් නැති බව ද ප්‍රකාශ කළා ය.
කෙසේ වුවද, මෙම වයිරසය මෙරටට ඇතුළු වූයේ කෙසේ ද? යන්න සෙවීම සඳහා වසංගත විද්‍යාත්මක විමර්ශනයක් සිදුවෙමින් පවතින බව ද ඇය අනාවරණය කළා ය.
මෙරටට අවශ්‍ය ඌරු මස්වලින් කුඩා ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරන බව ත් එහිදී ආනයනික බලපත්‍ර ලබා දෙන්නේ සූකර උණ රෝගය නොමැති රටවලින් මස් ආනයනය කිරීමට බව ත් සඳහන් කළ අධ්යක්ෂ ජනරාල්වරිය එලෙස විධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් මෙම වයිරසය රට තුළට ඇතුළුවීමට කිසිදු ඉඩක් නොමැති බව ද අවධාරණය කළා ය.
පසුගිය සති 6ක පමණ කාලය තුළ මෙරට ඌරන් ගොවිපොළ ආශ්‍රිතව ව්‍යාප්ත වූ රෝගය පී.ආර්.ආර්.එස්. (Porcine Reproductive and Respiratory Syndrome) තත්ත්වය බවට පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කළ බව ත් එහිදී මතුවන රෝග ලක්ෂණවලට වඩා වෙනස් රෝග ලක්ෂණ තිබෙන සතුන් ද ගොවිපොළ කිහිපයකින් වාර්තා වීම නිසා පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය එම සතුන්ගේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට වැළඳී ඇත්තේ, අප්‍රිකානු සූකර උණ බවට තහවුරු කරගත් බව ත් කොතලාවල මහත්මිය කීවා ය.
කෙසේ වුවද, ඇයට අනුව මෙරටින් මේ වන විට පී.ආර්.ආර්.එස් (Porcine Reproductive and Respiratory Syndrome) රෝගය සහ අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) උණ යන වයිරස් රෝග දෙක ම වාර්තා වී ඇති බව ත් පී.ආර්.ආර්.එස්. රෝගයට එන්නතක් ඇතත් අප්‍රිකානු සූකර උණට මෙතෙක් එන්නතක් සොයා ගෙන නොමැති බව ත් අධ්යක්ෂ ජනරාල්වරිය පැවැසුවා ය.
රෝග දෙක ම වයිරස් රෝග වුවත් අප්‍රිකානු සූකර උණ අධි ව්‍යාධිජනක වයිරස් රෝගයක් බව ත් රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා ඌරන්, ඌරු මස් හා ආසාදිත වෙනයම් ද්‍රව්‍යයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය මුළුමනින් ම තහනම් කරමින් ගැසට්ටුවක් එළිදැක්වූ බව ද ඇය කීවා ය.