රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක විත්තිකරුවන් ලෙස නම් කරමින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එංගලන්තයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සිදුකළ පෞද්ගලික සංචාරයකින් රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදුකළ බවට මොවුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් වන අධිචෝදනා පත්‍ර සකස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ළඟදීම සිදු කිරීමට නියමිතය.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial-at-Bar) පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව, ප්‍රමාදයකින් තොරව අධිචෝදනා ගොනු කර ලබන අප්‍රේල් 29 වැනිදාට පෙර වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නීතිපතිවරයාට දැනුම් දී ඇත. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු පරීක්ෂාවක් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතව තිබේ.














