වර්තමාන ගැටුම්කාරී ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය ආරක්ෂා කරගනිමින්, කිසිදු විදේශීය රටකට ගැති නොවන ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේදී අද පැවැති “එක්සත් ජාතියක්” මත්ද්‍රව්‍ය මර්ධන ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ලෝකය මතුපිටින් සාමකාමී ලෙස පෙනුනද, අභ්‍යන්තරිකව වෙළඳපොළ කොටස් අත්පත් කරගැනීම සඳහා විවිධ ගැටුම් සහ ප්‍රතිවිරෝධතා පවතින බවයි. එවැනි සංකීර්ණ පරිසරයක රට ගොඩනැගීම සඳහා කිසිදු පාර්ශවයකට අනුගත නොවන ස්වාධීන ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය සාධකයක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා පමණක් රජය රුපියල් මිලියන 330,000 ක් හෙවත් රුපියල් කෝටි 33,000 ක දැවැන්ත මුදලක් වැය කරන බව ප්‍රකාශ කළේය. මෙය මෙතෙක් රාජ්‍ය සේවය වෙනුවෙන් ලබාදුන් ඉහළම වැටුප් ප්‍රතිලාභය වන අතර, රාජ්‍ය සේවය වඩාත් ආකර්ෂණීය සහ කාර්යක්ෂම ස්ථානයක් බවට පත් කිරීමට රජය උපරිම උත්සාහයක් ගන්නා බවද ඔහු පැවසීය. ඒ සඳහා ඩිජිටල්කරණය සහ අවශ්‍ය වාහන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබාදෙමින් රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කිරීම හරහා රාජ්‍ය සේවකයාට තෘප්තිමත් ජීවිතයක් ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.














