අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මේ වන විට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය අද (26) පෙ.ව. 8.00 ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇති අතර ඉන්පසුව, පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට කටයුතු යොදා තිබෙනවා.
අනතුරුව ප.ව. 3.30 ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතයි.
බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සහ ඉන් අනතුරුව පැවිදි අනුශාසනාව සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් සිදුකරනු ලබන විශේෂ ඇගයීම සිදු කෙරෙන අතර අවසානයේ ප.ව. 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතයි.
අනතුරුව පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමකිරීමට නියමිත බවයි වැඩිදුරටත් සදහන් වෙන්නේ.