ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීන ආයෝජන සහිත Amber Adventures (Private) Limited සමාගම තීරණය කර තිබේ. රජයේ ආයතනවල අත්තනෝමතික ක්‍රියා කලාපය සහ ආයෝජන ආරක්ෂා කිරීමට බලධාරීන් අපොහොසත් වීම මෙම තීරණයට හේතු වී ඇතැයි වාර්තා වේ.
ව්‍යාපෘතියෙන් ඉවත් වීමේ තීරණය සමාගම විසින් ඊයේ (ජනවාරි 13) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, ඒ සඳහා බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් සමාගම විසින් පෙන්වා දී ඇත.
සමාගම පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික අනුමැතියන් ලැබී තිබියදීත්, හුදෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පදනම් විරහිත පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් පසුගිය ජනවාරි 09 වන දින ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට නියෝග කළ බවයි. ව්‍යාපෘතිය නිසා නායයෑමේ අවදානමක් පවතින බවට එල්ල වූ චෝදනා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් පරීක්ෂා කර එම ස්ථානයේ ස්ථාවරත්වය තහවුරු කර තිබියදීත් මෙලෙස බාධා කිරීම අසාධාරණ බව සමාගම අවධාරණය කරයි.
මෙම සමස්ත ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 12.75ක් (රුපියල් බිලියන 4කට අධික) වන අතර, ඉන් ඩොලර් මිලියන 3.5ක් මේ වන විටත් ආයෝජනය කර අවසන්ව තිබේ. ආයෝජන මණ්ඩලය (BOI) විසින් ආයෝජකයාට නිසි නියාමන ආරක්ෂාවක් හෝ මැදිහත් වීමක් ලබා නොදීම බරපතල අසාර්ථකත්වයක් බව පවසන සමාගම, තමන්ට සිදු වූ මූල්‍ය අලාභය අයකර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සලකා බලමින් සිටී.
මෙම ව්‍යාපෘතිය ‘ඉදිකිරීම-ක්‍රියාත්මක කිරීම-පැවරීම’ (BOT) පදනම මත ක්‍රියාත්මක වූ අතර, වසර 13කට පසු රුපියල් බිලියන 5කට වඩා වටිනා මෙම පද්ධතිය කිසිදු මුදලක් අය නොකර රජයට පැවරීමට නියමිතව තිබුණි. ව්‍යාපෘතිය අත්හැරීමත් සමඟ එම ජාතික සම්පත මෙන්ම ප්‍රදේශයේ ජනතාවට හිමි වීමට තිබූ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ද රටට අහිමි වී යයි.















