අම්බුළුවාව ප්‍රදේශයේ සිදුවන පාරිසරික බලපෑම් සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අම්බුළුවාව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීමේදී මධ්‍යම පරිසර අධිකාරිය ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව හෙළි වී ඇත.
ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ගණනාවක් පවතින මෙම ප්‍රදේශයට පාරිසරික අනුමැතිය ලබාදීමේදී වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නොමැති බව ද අනාවරණය වී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසරවේදීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්ව සිටියහ.
මෙම සියලු කරුණු සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බලා වාර්තා කිරීම නව විශේෂඥ කමිටුවට පැවරෙනු ඇත.














