කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ රුව සහ නම යොදා ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. කිසිදු පදනමක් නොමැති අසත්‍ය පුවත් සහ විකෘති කරන ලද ඡායාරූප නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බවට මෙහිදී චෝදනා එල්ල වී ඇත.
අමාත්‍යවරයාගේ උපදෙස් මත ඔහුගේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න රාජනායක මහතා විසින් අද දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී. අදාළ අසත්‍ය තොරතුරු නිර්මාණය කරන සහ ඒවා සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට සලස්වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නෛතික පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිතය. දේශපාලනික හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් පුද්ගල චරිත ඝාතනය වන අයුරින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දණ්ඩ නීති සංග්‍රහය සහ තොරතුරු තාක්ෂණ පනත් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව බලධාරීහු පෙන්වා දෙති.














