අමෙරිකානු එක්සත් ජනපදයේ බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් පසුගියදා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමු විය.
අමෙරිකානු එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්ත නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින මෙම දූත පිරිස විශේෂයෙන් ඉන්දියාව සහ ආසියානු කලාපයේ විවිධ ආයෝජනයන් වල නියැලී සිටින අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සහ ආහාර සැකසුම් කර්මාන්තය පිළිබඳව ද අපනයන ක්ෂේත්‍රය සහ වරාය කටයුතු පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වයි.
අමාත්‍යාංශයක් ලෙස ඉදිරියේදී අනුගමනය කරන වෙළෙඳ ගිවිසුම්, ආයෝජන අවස්ථා සහ වෙළෙඳ අවස්ථා පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර අමාත්‍යාංශයක් ලෙස වෙළෙඳපොළ තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් සහ වෙළෙඳපොළ තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් මැදිහත් වී ඇති ආකාරය ද ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද අමෙරිකානු දූත පිරිස දැනුවත් කරන ලදි.
මෙම සකච්ඡාව තුළදී ඔවුන් ලංකාව සමඟ වෙළෙඳ අවස්ථා සහ අපනයන අවස්ථා වැඩිකර ගැනීම, ආයෝජන අවස්ථා වැඩි කර ගැනීම, විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඔවුන් තුළ ඇති අවධානය, ආහාර සැකසුම් ක්ෂේත්‍රය පිළිබඳව ඔවුන් තුළ ඇති උනන්දුව වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කිරීම පිළිබඳව ඔවුන් යහපත් එකඟතාවයක් පළ කරන ලදි.