අමෙරිකානු සම්බාධක තර්ජන මධ්‍යයේ වුවද ඉරානය සමඟ පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සමඟ පැවැති දුරකථන සංවාදයකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත.
අමෙරිකානු තීරුබදු පිළිබඳ බියෙන් ශ්‍රී ලංකාව ඉරානයට සිදු කරන අපනයන නතර කිරීමට සූදානම් වන බවට පළ වූ වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවීමට පෙර ලබාගත් අමුතෙල් නැව්ගත කිරීම් සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ණය මුදල ශ්‍රී ලංකාව තවමත් ගෙවමින් සිටින බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම ණය පියවීම සිදු කරනු ලබන්නේ “තේ වෙනුවට තෙල්” (Tea-for-oil barter deal) යනුවෙන් හඳුන්වන භාණ්ඩ හුවමාරු ගිවිසුම යටතේය. 2023 අගෝස්තු මාසයේ සිට සෑම මසකම ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුත් තේ ඉරානයට යවනු ලබන අතර, අපනයනකරුවන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ ලංකා තේ මණ්ඩලය හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසිනි.
ඉරානය සමඟ ගනුදෙනු කරන රටවලට අමතර තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති පසුබිමක වුවද, මෙම එකඟතාවය ගරු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව ද අමාත්‍යවරයා සිය ඉරාන සගයාට ස්තූතිය පුද කර තිබේ.














