කොළඹ හතේ පිහිටි ප්‍රධාන පෙළේ ලීසිං සමාගමක ශාඛාවක් තුළ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිරකර, සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය, කොළම ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (04 වැනිදා) දන්වා සිටියේය.
අදාළ ලීසිං ආයතනයේ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.
උත්සව කටයුතු සඳහා වාහන දීමේ ව්‍යාපාරයක නිරත ගනේමුල්ල, බොල්ලත, ගල්පොත්ත පාර පදිංචි අශාන් ද සිල්වා විසින් කරන ලද පැමිණිල්ලක් මත, විමර්ශන කටයුතු ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ අධිකරණය වෙත දන්වා සිටියේය.
තමා අදාළ ලීසිං සමාගමේ ගනේමුල්ල පිහිටි ශාඛාවෙන් රුපියල් ලක්ෂ 20 ක ලීසිං පහසුකමක් වසර 05 ක් දක්වා ගෙවීමට ගත් බවත්, ඊට අදාළ මුදල් සහ පොලිය 2024 අප්‍රේල් 08 වැනිදා වන විට ගෙවා අවසන් කළ බවත් පැමිණිලිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිලිකරුගේ කාර් රථයට අදාළ ලීසිං පහසුකම ගෙන අවසන් හෙයින්, ඊට අදාළ ලිපි ලේඛන දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ලීසිං සමාගමේ ගනේමුල්ල ශාඛාවේ නිලධාරින් දන්වා ඇත්තේ එම ලේඛන කුරුඳුවත්තේ පිහිටි ශාඛාවෙන් ගන්නා ලෙස බව දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් ඒ පිළිබඳ විමසීමට පැමිණිලිකරු සිය බිරිඳ සමග ලීසිං සමාගමේ කුරුඳුවත්තේ පිහිටි ආයතනයට ගොස් ඇතැයි දන්වා සිටියේය.
එම අවස්ථාවේදී ලීසිං සමාගමේ කුරුඳුවත්ත ශාඛාවේ ප්‍රධාන කළමනාකරු බව කියන ගිහාන් නමැති අය බැණ තර්ජනය කළ බවත්, එහි සිටි පිරිසක් ආයතනයේ ඉබි යතුරු දමා වසා දමමින් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරිඳට පිටතට යෑමට නොදී සිරකර තබා ඇති බවත්, 119 දුරකථන අංකයට ලද ඇමතුමක් පරිදි පොලිසිය පැමිණ දෙපාර්ශ්වයම කුරුඳුවත්ත පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවත් සැරයන් සමන් රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ කුරුඳුවත්ත පොලිසියට නියම කළේ ය.