ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව තමන් ඉදිරිපත් කළ දූෂණ චෝදනා විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපොහොසත් වී ඇති බව පවසමින් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වේ. පසුගිය කාලසීමාව තුළ රටේ දැඩි කතාබහට ලක්වූ කන්ටේනර් 323 සිද්ධිය, සහල් ආනයන වංචාව සහ විදුලිබල අමාත්‍යාංශයේ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු කරුණු 38ක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි මෙලෙස විමර්ශනයට ලක්ව නොමැති බව විපක්ෂය චෝදනා කරයි.
මෙම පැමිණිලි විමර්ශනය නොකිරීම හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටීමට නියමිතය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විටත් ප්‍රමුඛ පෙළේ නීතිඥ මණ්ඩලයක් සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇති අතර, නඩු පැවරීම සම්බන්ධ අවසන් තීරණය මේ සතියේ බ්‍රහස්පතින්දා (05) ගැනීමට නියමිත බව වාර්තා වේ. මීට සමගාමීව, අද දිනයේදී පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද අල්ලස් කොමිසම හමුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ දූෂණ මර්ධන ක්‍රියාවලිය පිළිබඳ දේශපාලන කරළිය තුළ අලුත් උණුසුමක් නිර්මාණය වී තිබේ.












