“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 16,800ක් පමණ මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනාවරණය කරයි. මින් ඇතැම් පිරිසක් තමන් ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව පවා නොදන්නා බව ඊයේ (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවකදී හෙළි විය. බැංකු ගිණුම් විවෘත කර නොමැති පිරිස අතරින් වැඩිම පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 2,700කි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද සැලකිය යුතු පිරිසක් මෙතෙක් ගිණුම් විවෘත කර නොමැති බව වාර්තා වේ.
ගිණුම් විවෘත කර නොමැති පිරිස අතර දිළිඳු කාණ්ඩයේ 8,900ක් සහ අන්ත දිළිඳු කාණ්ඩයේ පිරිසක් ද සිටින බව මණ්ඩලය පවසයි. ජාතික හැඳුනුම්පතක් නොමැති වීම මෙම පිරිසට බැංකු ගිණුම් විවෘත කිරීමට ඇති ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන ඇත. සුදුසුකම් ලැබූවන් රජයේ බැංකුවක “අස්වැසුම” නමින් ගිණුමක් විවෘත කළ යුතු අතර, දැනටමත් ගිණුම් විවෘත කළ පිරිස සඳහා 2025 ජූලි සිට 2026 පෙබරවාරි දක්වා මාස අටක හිඟ මුදල් බැංකුගත කර ඇති බව ද මණ්ඩලය අවධාරණය කරයි.
ගිණුම් නොමැති පිරිස දැනුවත් කිරීම සඳහා කෙටි පණිවුඩ සහ ලිපි යොමු කර ඇති බවත්, එළඹෙන මාර්තු මාසය තුළ ගිණුම් විවෘත කර ඒ බව දැනුම් දෙන්නේ නම් හිඟ වාරික ද සමඟ ප්‍රතිලාභ මුදල් ලබා දීමට කටයුතු කරන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.














