පෙබරවාරි 05 – කොළඹ, ආදුරුප්පුවීදිය පොලිස් වසමට අයත් කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි. තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටි අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (04) මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ආදුරුප්පුවීදිය පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.














