මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා අද (මාර්තු 15) ප්‍රකාශ කළේය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව දක්වා ඉහළ යාම සහ ජාත්‍යන්තර ප්‍රවාහන ජාලයන්ට එල්ල වී ඇති බාධා හමුවේ, මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩවල පිරිවැය ඉහළ යාම වැළැක්විය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සහ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම මෙතෙක් භාණ්ඩ ආනයනය කළ රටවලට අමතරව නව ආනයන ප්‍රභවයන් සහ රටවල් සොයා බැලීමට රජය මැදිහත් වී ඇති අතර, එමගින් අඛණ්ඩව භාණ්ඩ සැපයුම සහතික කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින තත්ත්වය හමුවේ බෙදාහැරීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් එල්ල වුවද, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවට අමාත්‍යවරයා සහතික විය. ජාත්‍යන්තර තත්ත්වයන් මත මිල යම් මට්ටමකින් වැඩි විය හැකි වුවත්, මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම විධිමත් කිරීමට රජය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ද ඔහු අවධාරණය කළේය.














