ආබාධ සහිත පුද්ගලයන් සමාජය තුළ හැඳින්වීමේදී භාවිත වන අපහසුතා සහගත වදන් වෙනුවට, වඩාත් ගෞරවනීය සහ නිවැරදි පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, පුද්ගල ගරුත්වය ආරක්ෂා වන පරිදි යෝජනා වූ වචන 100ක පමණ ප්‍රමාණයෙන් ප්‍රධාන යෙදුම් 11ක් දැනටමත් අමාත්‍යාංශය විසින් අනුමත කර තිබේ.
මෙම නව පියවර යටතේ හඳුන්වා දුන් ප්‍රධාන යෙදුම් අතර ආබාධ සහිත තැනැත්තා, ශ්‍රවණාබාධ/දෘශ්‍යාබාධ/චලනාබාධ සහිත තැනැත්තා සහ බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තා වැනි වචන අඩංගු වේ. මීට අමතරව ‘මිහිමිත් තැනැත්තා’ වැනි වඩාත් සුහදශීලී යෙදුම් ද මෙයට ඇතුළත් කර ඇත. ඉතිරි යෙදුම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා සති දෙකක කාලයක් ලබා දී ඇති අතර, ඉන් අනතුරුව සම්පූර්ණ පාරිභාෂිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
තොරතුරු සන්නිවේදනයේදී සහ එදිනෙදා ව්‍යවහාරයේදී මෙම ගෞරවනීය යෙදුම් භාවිත කිරීම මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ මානව ගරුත්වය සුරැකීම සහ ඔවුන්ව වඩාත් සක්‍රීයව සමාජගත කිරීම රජයේ අපේක්ෂාවයි. රාජ්‍ය ආයතන, මාධ්‍ය සහ සිවිල් සමාජය මෙම නව වචන මාලාව භාවිතයට හුරු කරවීම තුළින් ආබාධ සහිත ප්‍රජාව කෙරෙහි සමාජය බලන දෘෂ්ටිකෝණය යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කෙරේ.














