දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන පහක කළමනාකරණය ‘ජාතික කෘෂි අලෙවි සේවා සමාගම’ (National Agri Marketing Service Company) වෙත පැවරීමට රජය ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කැඳවූ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස නව සමාගම යටතට පත් කිරීමට රජය තීරණය කර ඇති අතර, මෙතෙක් ආර්ථික මධ්‍යස්ථාන භාරකාර මණ්ඩල සතුව තිබූ කළමනාකරණ බලය සහ වෙළෙඳුන් ඉතිරි කර ඇති රුපියල් මිලියන 250ක අරමුදල මෙලෙස වෙනත් පාර්ශවයකට පැවරීමට වෙළෙඳුන් දැඩි විරෝධය පළ කළහ.
වසර 30කට අධික කාලයක් ලාභ ලබමින් කාර්යක්ෂමව පවත්වාගෙන ගිය මෙම ආයතන, විධිමත් ගිවිසුමකින් තොරව අමාත්‍යවරයාට හිතවත් පිරිසක් මගින් පාලනය කිරීමට උත්සාහ කරන බවට වෙළෙඳ ප්‍රජාව මෙහිදී චෝදනා කළහ. කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ වෙනත් නමකින් යුත් සමාගමකට බවත්, අමාත්‍යවරයා රහසිගතව නම වෙනස් කළ සමාගමක් හරහා මෙම පවරා ගැනීම සිදු කිරීමට සැරසෙන බවත් පෙන්වා දුන් ඔවුහු, මේ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව අවධාරණය කළහ. කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ මෙය රජය සතු සමාගමක් බවත්, ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට සාධාරණ වෙළඳපොළක් ඇති කිරීම සඳහා මෙම පියවර ගත් බවත්ය.














