රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ආර්මේනියානු අගමැති නිකොල් පෂින්යාන් (Nikol Pashinyan) අතර ක්‍රෙම්ලිනයේදී පැවැති හමුවකදී, ආර්මේනියාව යුරෝපා සංගමය (EU) සමඟ පවත්වන සමීප සබඳතා පිළිබඳව රුසියාව සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. යුරෝපා සංගමය සහ රුසියාව ප්‍රමුඛ යුරේසියානු ආර්ථික සංගමය (EAEU) යන දෙකෙහිම එකවර සාමාජිකත්වය දැරීම කළ නොහැක්කක් බව පුටින් මෙහිදී අවධාරණය කළේය.
මෙම හමුවේදී රුසියානු ජනාධිපතිවරයා විසින් ආර්මේනියාවට සපයන රුසියානු ගෑස් සැපයුම පිළිබඳව ද වක්‍ර තර්ජනයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්මේනියාව යුරෝපා සංගමය දෙසට නැඹුරු වීම රුසියාවේ ස්ථාවරයට පටහැනි බවත්, රුසියාව ප්‍රමුඛ කරගත් ආර්ථික එකඟතාවලින් බැහැර වීම ආර්මේනියාවට බලපෑම් එල්ල කළ හැකි බවත් පුටින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ආර්මේනියානු අගමැතිවරයා සඳහන් කළේ තම රටේ දේශපාලන ක්‍රියාවලිය තීරණය කරනු ලබන්නේ ආර්මේනියානු ජනතාව විසින් බවයි. 2015 වසරේදී පිහිටුවන ලද යුරේසියානු ආර්ථික සංගමයේ සාමාජිකයෙකු ලෙස ආර්මේනියාව දැනට කටයුතු කරන අතර, වත්මන් යුදමය සහ දේශපාලනික වටපිටාව හමුවේ ආර්මේනියාව බටහිර රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට උත්සාහ කිරීම මෙම උණුසුම් තත්ත්වයට හේතු වී තිබේ.














