ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියට තවත් සැකකරුවන් පිරිසක් සම්බන්ධ බවට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සිව් දෙනාගෙන් තොරතුරු අනාවරණය කරගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත ඊයේ (ඔක්. 28) දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයේ අවසරය මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව ත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වූ බව ද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.
එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු මේ වන විට හඳුනා ගෙන සිටින බව ත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට එම විමර්ශන කොට්ඨාසය කරන ලද ඉල්ලීමට අධිකරණයෙන් අවසරය හිමි විය.
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක පුරවරයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට ඉකුත් සැප්තැම්බර් මාසයේදී ලද තොරතුරක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවත් ඒ අනුව සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බවත් එම කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් පෙර නඩු වාරයේදී අධිකරණය වෙත දැනුම්දී තිබිණි