මැදපෙරදිග කලාපයේ අමෙරිකා-ඉරාන යුද උණුසුම තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක, ඉරාකයේ බැග්ඩෑඩ් (Baghdad) නුවරදී ඇමරිකානු නිදහස් මාධ්‍යවේදිනියක වන ෂෙලී කිට්ල්සන් පැහැර ගැනීමට ලක්ව ඇති බව අද (01) වාර්තා විය. ඊයේ (මාර්තු 31) සිදුවූ මෙම පැහැර ගැනීම ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කරන්නට ඇති බවට අමෙරිකානු බලධාරීන් සැක පළ කරයි.
ෂෙලී කිට්ල්සන් යනු Al-Monitor, ANSA සහ RAI වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසකට දායකත්වය ලබා දුන් පළපුරුදු මාධ්‍යවේදිනියකි. ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විදේශීය මාධ්‍යවේදියෙකු පැහැරගෙන ඇති බව තහවුරු කළ ද, ඇය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත. කෙසේ වෙතත්, අමෙරිකානු සහ ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ ඇයගේ පැහැර ගැනීම ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස සිදුවූවක් විය හැකි බවයි.
ඇයට මීට පෙර අනතුරු ඇඟවීම් ලැබී තිබුණේද යන්න පිළිබඳව නිල තොරතුරු තවමත් අනාවරණය වී නැතත්, කලාපයේ පවතින දරුණු යුද තත්ත්වය හමුවේ විදේශීය මාධ්‍යවේදීන්ට දැඩි අවදානමක් පවතින බව මීට පෙර නිවේදනය කර තිබුණි. මෙම සිදුවීමත් සමඟ ඉරාකයේ සිටින අමෙරිකානු වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.














